Tuesday, July 22, 2014

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1931

මැනිං ආණ්ඩු කාරයාගෙන් පසු 1925 දී ආණ්ඩුකාර ධූරයට පත් ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් විසින්ද මැනිං ආණ්ඩු ක්‍රමය දුර්වල අත්හදා බැලීමක් ලෙස අවබෝධ කොටගෙන සිටියේය.එබැවින් මෙම දුර්වලතා සලකා බලන ලෙස ඔවුහු බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.මෙම ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස 1927 අගෝස්තු මාසයේදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සලකා බැලීම සදහා ඩොනමෝර් සාමි ප්‍රමුඛ කොමිසම ලංකාවට එවන ලදී.
කොමිසමට අයත් කාර්ය වූයේ 1924 රාජාඥාව(මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩු ක්‍රමය) සංශෝධනය කිරීම පිළිබද වාර්තාවක් ඉදිරිපත් කිරීම සහ ඉදිරිපත්ව ඇති යෝජනා සලකා බැලීමයි.1928 දී ඔවුහු අනාවරණය කරගත් දුර්වලතාද සහිතව කොමිෂන් සභා වාර්තාව
ප්‍රකාශයට පත් කරන ලදී.
ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් ගනන 61 ක් විය.එයින් 50 දෙනෙකු ප්‍රාදේශීය නියෝජනය යටතේ සර්වජන ඡන්දයෙන් තෝරා ගන්නා ලදී.සුළු ජාතිකයින් නියෝජනය කිරීම සදහා ආණ්ඩුකාරයා විසින් 08 දෙනෙකු නාමකරණයෙන් පත් කරන ලදී.තවද ප්‍රධාන විධායක නිළධාරීන් ලෙසට ආණ්ඩුකාරයා විසින් රාජ්‍ය නිළධාරීන් 03 ක් පත් කරන ලදී.මහලේකම්(රාජ්‍ය ලේකම්) ,මුදල් ලේකම්,නීති ලේකම් ලෙස ඔවුන් හදුන්වන ලදී.
මෙම ආණ්ඩු ක්‍රමය යටතේ විධායක කාරක සභා ක්‍රමයක් හදුන්වා දුන් අතර කාරක සභා 07 ක් විය.ඒම කාරක සභා නම්,
1-ස්වදේශ කටයුතු කාරක සභාව.
2-කෘශිකර්ම හා ඉඩම් කාරක සභාව.
3-පළාත් පාලන කාරක සභාව.
4-සෞඛ්‍ය කාරක සභාව.
5-කම්කරු කර්මාන්ත හා වාණිජ කාරක සභාව.
6-අධ්‍යාපනය පිළිබද කාරක සභාව.
7-තැපැල් හා ප්‍රසිද්ධ කටයුතු කාරක සභාව.
යනුවෙනි.
සෑම විධායක කාරක සභාවකටම සමාන සාමාජිකයින් පිරිසක් සිටි අතර සභාපති වරයෙකු බැගින්ද තෝරාගන්නා ලදී.ඔහු කාරකසභාවේ සභාපති වරයා මෙන්ම ඇමතිවරයාද විය.ආණ්ඩුවේ විධායක කටයුතු කොටස් 10 කට බෙදා එයින් 7 ක් ලාංකිකයන්ට පවරාදුන් අතර ඉතිරි අංශ තුන රාජ්‍ය නිළධාරීන් තිදෙනාට පවරන ලදී.
ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන දුර්වලතාවය වුයේද අත්හදා බැලීමක් ලෙස විධායක කාරක සභා ක්‍රමය භාවිතයට ගැනීමයි.
එසේම ඩොනමෝර් ක්‍රමය තුළ දක්නට ලැබුනු ප්‍රධාන ලක්ෂණ ඉතා කෙටියෙන් පහත පරිදි දක්වමි.


@ 1924 ආණ්ඩුක්‍රමය ගැන ලංකා ජාතික සංගමය තෘප්තිමත් නොවීය.

@ 1925 බලයට පත් හියු ක්ලිෆර්ඩ් ආණ්ඩුකාර ද එහි අඩුපාඩු දුටුවේය.   
                                                                     
@ 1927 අගෝස්තු මස ඩොනමෝර් කොමිසම ලංකාවට එවන ලදී.

(ඩොනමෝර් සාමි ප්‍රධාන-සර් මැතිව් නාදන්,සර් ජෙෆ්රි බට්ලර්,ආචාර්ය සී ඩ්‍රමන්ශීල්ස් යන අයද කොමිසමට අයත් විය.)

@ 1928 ජූලි මස අනාවරණය කරගත් දුර්වලතාද දක්වමින් කොමිසමේ වාර්තාව එලි දැක්වීය.

@ සර්වජන ජන ඡන්දබලය ලබාදීම. (වයස අවුරුදු 21 ට වැඩි)

(බ්‍රිතාන්‍යය පවා සර්වජන ඡන්දබලය කාන්තාවන්ට හිමිකර දෙන්නේ 1928 දීය).

@ සාමාජිකයන් 61 ක ගෙන් සමන්විත රාජ්‍ය මන්ත්‍රණ සභාව.(ඉහතින් දක්වා ඇත.)

@ විධායක කාරක සභා ක්‍රමය.(කාරක සභා 07 කි)

@ රාජ්‍යය නිළධාරීන් තිදෙනෙකු පත්කිරීම.

@ ආණ්ඩුකාරයාගේ බලතල සංශෝධනය කිරීම.

@ සෑම කාරක සභාවකටම සමාන සාමාජික පිරිසක් අයත්ව සිටියහ.(සාමාජිකයන් 7-8 ප්‍රමාණයකින් සමන්විත විය)

@ කාරක සභාවේ සභාපති වරයා එහි සභාපති මෙන්ම එහි ඇමති වරයාද විය.

@ ලේකම් වරු තිදෙනාද කාරක සභා 7 ද එක්ව ඇමතිවරු 10ක්ද අමාත්‍යාංශ 10 ක්ද විය.

No comments:

Post a Comment