Monday, May 20, 2013

බසයේ ගමන් කිරීම හෙවත් බසය ඇතුළේ ඇවිදීම.



සාඩින් මෙන් තදබල ලෙස එකට කිටි කිටියේ හිරවෙමින් ඩහදිය මුගුරු හෙළමින්,නගින බහින අවස්ථාවලදී නොමිළේම ඇගට පතට සම්බාහනයක්ද ලබමින්,ආදරය ඉල්ලා විලාපදෙන කසිකබල් ගීතයන්ටද සවන් දෙමින් බස්රියෙන් ගමන් කිරීමේ ආස්වාදජනක අත්දැකීම ලංකාවේ ජනතාවට නොඅඩුවම ලැබෙන්නේ පෙර පිනක් නිසාදැයි වරෙක මට සිතෙයි.
එසේම කොන්දොස්තර මල්ලී ඉස්සරහ සිටින මගීන්ට පිටුපසට යන ලෙස නිතරම බෙරිහන් දෙයි.පටුපස සිටින මගීන්ට ඉස්සරහට යන ලෙසත් කෑගසා කියයි.මෙසේ මගියෙක් පැයක පමණ කාලයක් බසයේ ගමන් ගතහොත් බස් රථය තුළ කිලෝමීටරයක් පමණ දුර පයින් ගමන් කරන්නට සිදුවේ.

මීලගට
කොන්දොස්තර මල්ලී යමෙකුට සැරවෙන්නේ මාරු සල්ලි නොගෙනේමේ වරදට හසුවය.දැන් කොන්දොස්තර මල්ලීට යකා නැගඇත.අපි සේවා අවශයතා සදහා ගමන් කරන මගීන් විනා කොන්දොස්තරලා නොවේ.මාරු සල්ලි රුගෙන ආයුත්තේ මමද ඔහුද.ඔහුගේ රුකියාව කිරීමට අවශ්‍ය දෑ සපයා ගතයුත්තේ ඔහු නොවේද?

මේ අර්බූධයට රටේ නීති ක්‍රමයද වගකිව යුතුය.
එනම් ඉඩම් හිමිකම් පිළිබද නීතියයි.එනම් බොහෝ දෙනෙකුට තමන් උපන් ස්ථානයේ බිම් උරුමය ඇතිබව පෙනේ.
එහෙත් රුකියාව කරන්නේ එයට වඩා දුරින් පිහිටි තැනකය.තම රුකියා කරන ස්ථානය සමීපව නිවෙසක් ඉදිකරගැනීමට හෝ කුළියට ගැනීමට හෝ බොහෝ දෙනා අසමත්වෙති.
ඒනිසා කල හැකිව තිබෙන්නේ තම නිවසේ සිටම මහ පාන්දරින් නැගිට තම තමන්ගේ වත් පොහොසත් කම් අනුව පාපැදි,යතුරුපැදි, කාර්,බස් හා දුම්රිය භාවිතා කරමින් වැඩට පැමිණ හවසද ඒ ආකාරයටම රෑ බෝවී ගෙදර යාමටය.
මාගේ කෑගල්ලේ මිතුරෙකු රත්නපුරයේ පාසලක සේවය කරයි.එම පාසල අසලම සිටින අපේ මිතුරෙක් කෑගල්ලේ මිතුරාගේ නිවස අසලම පාසලේ සේවය කරයි.නමුත් වසර 10 ක් යන තුරු මාරුවීම් නැත.

මොවුන් ගෙන් එක් අයෙකු දිනකට පැය 6 ක් බසයේ ගමන් කිරීම සදහා මිඩංගු කරයි.දුෂ්කර පාසැල් සදහා ගුරුවරු දිගුකාලයකට යෙදවීම මමද අනුමත කරමි.නමුත් මොවුන් වැඩකරන්නේ ජාතික පාසැල් වලය.දුෂ්කර වී ඇත්තේ ඔවුන් පාසලට යන ගමන පමණි.දවසක් හැර දවසක් මේඅන්දමින් ශාරීරික හා මානසික පීඩා විදිමින් වැඩට එන අයගෙන් අපේක්ෂා කරන්නේ කුමන අන්දමේ ගුනාත්මක සේවයක්ද?

එසේම රජය නිතරම පවසන්නේ ඕනෑ තරම් බස්රථ තිබෙන බවය.නමුත් නියමිත වෙලාවට නියමිත තැනට යාමට බස් නොමැතිබව රජය නොදනී.නියමිත වේලාවට අදාල බසය නොමැති කල්හි පාරේයන සියගනන් බස්වලින් ඇති ඵලේ කිම.

2 comments:

  1. මේ ලිපිය නම් සුපිරි ඇත්ත..තවත් මේ වගේම ගොම්පාට් සීන් එකක් මට ටක් ගාලා මීටර් වුනා.ඒ තමයි අපේ පත්තර කලාවට දැන් අළුතෙන් එකතුවෙලා තියන සිස්ටම් එක. මුල් පිටුවේ තියෙන් නේ ලිපියෙන් පුංචි කෑල්ලක් විතරයි.ඒකේ යටින් තියෙනවා දැන් 4 වන පිටුව බලන්න කියලා..ඒකේ අන්තිමට ආයිත් කියනවා 16 වන පිටුව බලන්න කියලා.සමහර ලිපිවල ඒ පිටු ඔක්කොම බැලුවත් ලිපිය ඉවර නෑ.අන්තිමට ලියලා තියෙනවා ඉතිරි කොටස ලබන කලාපයේ පළවෙනවා කියලා. මේකත් හරියට බස්එකේ ඉස්සරහට පස්සට අපියනවා වගේම සීන් එකක් නේද?

    ReplyDelete
  2. ඔය පත්තරේ වටේම අපිව ගෙනියන්න කරපු වැඩක්නේ..නැත්නම් ඇඩ්වටීස්මන්ට් කවුරැත් බලන්නේ නැහැනේ..ඇඩ් පෙන්නන්න කරපු වැඩක් තමා මේක.නිදහස් මාධ්යම අයිතිය කියන්නේ මේකට වත් කොහේ වෙන්නැති.
    දැන් බලන්න අපේ බුදුසරණ පත්තරේ තනිකරම තියෙන්නේ දඹදිව වන්දනා කාරයන්ගේ ඇඩ් මනේ.දැන් ඒකේ කියවන්න බෞද්ධ ළිපි මොනවත් නෑ.

    ReplyDelete